කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී කෘෂි හා ආහාර ආශ්රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පසුගියදා ආරම්භ කෙරිණි.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
" මීට වසර 2 කට කලින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අපනයන කලාපයක් අරම්භ කිරීමට මේ පරිශ්‍රයේ අප මූලික අධ්‍යනයක් කළා. ඒ කාලයේ ඇතිවූ කොරෝනා අර්බුදය හා පසුව ඇතිවූ මූල්‍ය අර්බුදය හමුවේ අපේ ඒ බලාපොරොත්තු කඩිනමින් ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වුනා. එතකොට අපි මේ පරිශ්‍රයේ කර්මාන්ත ආරම්භ කිරීමට 14 දෙනෙකුට අවස්ථාව ලබාදීල තිබුනා. එහෙත් ඇතිවූ විවිධ ගැටලු නිසා අපට එය කිරීමට බැරිවුණා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් තමයි මෙහි විදුලි බලය ලබාදීම සහ මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබුනෙ. ඇතිවූ තත්වයත් එක්ක අපිට කඩිනමින් මෙය ක්‍රියාවට නැංවිය යුතු නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට අප මෙම කටයුතු භාර දුන්නා.විශ්වාස කරන්නත් බැරි ඉතාම කෙටි කාලයකදී සභාපතිතුමා ප්රමුඛ කර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය කඩිනමින් මෙහි වැඩ ආරම්භ කිරීමට කටයුතු කළා. අද මෙම පරිශ්‍රයේ කර්මාන්ත 7 ක ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කරනවා. ඔවුන්ට අපේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. සෑම කෙනෙකුම ආර්ථිකමය වශයෙන් අපහසු කාල සීමාවක අර්බුදයන් රැසකට මුහුණ දුන්නා. ඒ අර්බුදයන් නිසා තමයි මෙහි කර්මාන්ත ආරම්භ කිරීමට සිටි සමහර කර්මාන්තකරුවන් පසුබෑමකට ලක්වෙලා තියෙන්නෙ.