පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබූයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද(19) පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.
පාසල් හැරයන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කර ඔවුන් නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැකිය. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළීබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා මගපෑදීමත්, නොමිලේ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම තුළින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මහරගම අපේක්ෂා රෝහලේ භික්ෂු වාට්ටුව වසාදැමීම නිසා උද්ගතව ඇති තත්ත්වය පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබූ අතර කඩිනමින් එම භික්ෂු වාට්ටුව නැවත විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.