Wednesday, November 06, 2024
Follow Us
ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අළුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.
 
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද (17) අළුයම 03.30ට පමණ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස පිටත්ව ගොස් ඇත.
 
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
 
මෙම සමුළුව සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා ආරාධනා කළේය. 
 
ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ 'වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝග වලට විසඳුම් සෙවීම' යන්නයි.
 
මෙහිදී ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතය.
 
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුරදී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට සැලසුම් කර තිබේ.
 
එහිදී මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජය සහය ලබා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව සඳහන්වේ.
Dinamina