Monday, August 25, 2025
Follow Us
මිල කමිටුව වහාම රැස්වී යුරියා මිල තීරණය කරන්න - කෘෂිකර්ම ඇමැතිගෙන් උපදෙස්

‍ෙඅනිද්දා සිට (15) යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.


යුරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතුයැයි අමාත්‍ය මණ්ඩල නිර්දේශ කර ඇත.

ඒ අනුව මිල කමිටුව අද දින තුළ වහාම රැස්වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එම තීරණය පරිදි අනිද්දා සිට යුරියා පොහොර මිල රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇත. දැනට වෙළෙද පොළෙහි යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වශයෙන් පවතී.

මේ අතර දැනට කොළඹ වරායට පැමිණ ඇති යුරියා පොහොර නෞකාවේ අඩංගු පොහොර ගොඩ බෑම දැන් සිදු කෙරේ. ඊයේ (12) රාත්‍රියේ ද වර්ෂාව නිසා පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වූ බව කොමර්ෂල් හා ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

නමුත් අද රාත්‍රියේ සිටම යුරියා පොහොර රැගත් ලොරි රථ පොලොන්නරුව ඇතුළු සියලු දිස්ත්‍රික්ක වෙත යැවීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.