Wednesday, November 06, 2024
Follow Us
කොරියානු රැකියා සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තැබීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවබෝධතා විසුමට අත්සන් තැබූහ. මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටියහ.

මෙම අවබෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතය. නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෙල්ඩින් රැකියා සඳහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට නියමිතය.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතව ඇත.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ සඳහා වන කොරියානු පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සඳහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබා දෙනු ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වන අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.