ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවකට සහභාගි වෙමිනි. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඊයේ හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර යන ප්‍රදේශවල දී ආරම්භ වූ අතර ඒ සඳහා පැවැති ගොවි ජන හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“ පසුගිය කාලයේ පොහොර ඇටයක්වත් ගොවි ජනතාවට ලැබුනේ නැහැ. එවැනි වකවානුවක අපි 2022 යල කන්නයේ දී යුරියා පොහොර ගොවි ජනතාවට ලබා දුන්නා. ඒ වනවිට වෙළෙඳ පළේ යුරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් ඉක්මවා ගොස් තිබුනා. නමුත් අපි රුපියල් 10,000ට දුන්නා. ඒ සමගම පුද්ගලික අංශය විසින් පොහොර මිල අඩු කිරීම නිසා මේ වනවිට යුරියා මිල රුපියල් 11,000 දක්වා අඩු වුනා.
නමුත් පසුගිය මහ කන්නයේ අපි ගොවීන්ට බන්ඩි පොහොර හා යුරියා පොහොර දෙකම දුන්නා. ඒ වගේම මෙවර යල කන්නයේ අපි රජය වශයෙන් මඬ පොහොර සියලු ගොවීන්ටම නොමිලයේ දුන්නා. වගා කන්න තුනකට පසුව මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත්තා.
පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ට ලබා දුන් බන්ඩි පොහොර අපි මෙවර රුපියල් 15,000 දක්වා රුපියල් 4,500දක්වා අඩු කළා.
ඒ වගේම ලබන මහ කන්නයේ දී අපි යුරියා පොහොර මිල තවත් අඩු කරනවා. දැන් පුද්ගලික අංශයේ පොහොර මිල වැඩි කර තිබෙනවා. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවක් අද වරායට ආවා. අපී මේවා ලබන සඳුදා සිට සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලට යවනවා.
ඒ වගේම අපි ලබන 15 දා සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කරනවා. එවිට පුද්ගලික අංශයටත් මිල අඩු කරන්න සිදු වේවි.”
කොහොම වුනත් ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 5000 ට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. එතකොට ගොවි ජනතාවට එම වරප්‍රසාදය භුක්ති විදින්න ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.