දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයක් තුළ අප රටට ලැබීමට නියමිත බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) කුකුළු මස් හා බිත්තර හිඟය තුරන් කරලීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදීයි.
මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරේ. එමගින් මාසයක් වැනි කෙටිකාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන හෙයින් මෙසේ රක්කවන ලද බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබේ.
නෙදර්ලන්තයේ සිට ආනයනය කෙරෙන මෙම බිත්තර 176,000ක තොගය මගින් ලැබෙන කුකුළු පැටවුන් පසුගිය කොරෝනා වසංගත සමයේ දී වැසීගිය පුද්ගලික අංශයේ කුකුළු ගොවිපොළ වෙත සහන මිලක් යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉදිරි මාසයක කාලයක් තුළ මෙම රක්කවන ලද බිත්තර තොගය මෙරටට ලැබීමට නියමිතය.
මේ අතර කුකුළු බිත්තර රක්කවන ගොවිපොළ අයිතිකරුවන් මෙන්ම බිත්තර නිෂ්පාදක ගොවිපොළ අයිතිකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුර සාකච්ඡාවක් හෙට (09) පෙරවරු 11.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.