Thursday, April 25, 2024
Follow Us
නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයේ යළි අවධානය

අතරමඟ නවතා දැමූ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් පසු දෙරට අතර මිතුදම යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීමත් සමඟ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් දෙරට අතර යළි සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර, යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම, රාජ්‍යයන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම, ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නිල සංචාරයක නිරත වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යරවයා ඊයේ (30) මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරය ශ්‍රී ලංකාවට මෙන්ම ජපානයට ද තීරණාත්මක සංචාරයක් බව පෙන්වා දෙන ඒ මහතා එම සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා - ජපාන මිතුදම ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා,

''පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත් වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළදී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම නිවැරැදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත්තා.

ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදු කරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදු කරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩි කර ආර්ථික සහයෝගිතාව වැඩි කර ගන්නත් අදාළ වන ඵලදායී විදෙස් සංචාරයක නිරත වූ බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.

දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ජපාන රාජ්‍ය නායකයා සමඟ සාකච්ඡා වට කිහිපයකට අවස්ථාව සැලසුණු අතර, එම සංචාරය රටවල් දෙකටම ඉතා වටිනා සහ මේ අවස්ථාවේ හැටියට ඉතාම තීරණාත්මක සංචාරයක් වෙනවා. පසුගිය කාලයේ ජපානය අපේ දිගු කාලීන මිත්‍රයෙක්. ජපානයට සාමය උදා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අන්තර්ජාතික වශයෙන් විශාල මෙහෙයුමක නිරතව තිබෙනවා. ඒ වෙනුවෙන් ජපානය තුළ විශාල ගෞරවයක් තිබෙනවා. ඒ නිසාම පසුගිය කාලය තුළ ජපානය ශ්‍රී ලංකාවට ආධාර සපයන ප්‍රධාන රට බවට පත්ව තිබුණා. නමුත් මෑත කාලයේ ඇතැම් යෝජනා, ආධාර, ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම හේතුවෙන් යම්කිසි කනස්සලු ස්වභාවයක් පැවැතීම නිවැරැදි කිරීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුතලය සලස් කළා.'' යැයි සඳහන් කළේය.