Wednesday, November 06, 2024
Follow Us
ජගත් පරිසර දිනය වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවර ජගත් පරිසර දින තේමාව " ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටුදකිමු " යන්නයි.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව 1972 ජුනි මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පවත්වන ලද අතර මෙම සමුළුවේ සමාරම්භ දිනය සැමරීම සඳහා වසරකම ජුනි 5 වැනි දින ජගත් පරිසර දිනය ප්‍රකාශයට පත් කර තිබෙන බවද ලේකම්වරයා පැවසිය.

මෙවර සමරනු ලබන්නේ 50 වැනි පරිසර දිනය බවත් ඒ අනුව ජගත් පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිවී ඇති බවද ලේකම්වරයා එහිදී කියා සිටියේය.

මැයි මස 30 වැනි දින සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්කර තිබේන බව ප්‍රකාශ කළ ලේකම්වරයා , මැයි 30 වැනිදා රුක්රෝපණ දිනය ලෙසත් , මැයි 31 වැනිදා වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත් , ජුනි 1 වැනිදා පරිසර පවිත්‍ර කිරීමේ දිනය ලෙසත් , ජුනි 2 වැනිදා ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ලෙසත්, ජුනි 3 වැනිදා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් , ජුනි 4 වැනිදා තිරසර ඉඩම් කළමනාරණ දිනය ලෙසත් සහ ජුනි 5 වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත් ජගත් පරිසර දිනයේ සැමරුම් දින නම් කර ඇත.

දිවයින පුරා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් එම පළාත්පාලන බල ප්‍රදේශ තුළ පරිසරය පවිත්‍ර කිරීම , ඉවත දමන ලද ප්ලාස්ටික් පොලිතීන් එකතු කිරීම , කසළ වර්ගීකරණය සහ කසළ කළමනාකරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර පවත්වාගනෙ යාම ඇතුලු පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.