Wednesday, November 06, 2024
Follow Us
ඩ්‍රෝන තාක්ෂණයෙන් ඩෙංගු පරීක්ෂා කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම ඊයේ (25) ගම්පහ නගරයේ දී ආරම්භ කෙරිණි.


නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම ප්‍රථමයෙන් සිදු කරන අතර පසුව කීට නාශක යෙදීම සිදු කරනු ඇත.
මෙහි දී ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ මගින් පසුගිය කාලය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය 50%කින් පමණ අඩු වී ඇති බවයි.
ඉදිරියටත් සති 03කට වැඩි කාලයක් මේ ක්‍රියාමාර්ග ගත් විට මේ තත්ත්වය පාලනය කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.
රෝගීන් වාර්තා වීමේදී වැඩි ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැලණිය ප්‍රදේශවලින් වාර්තා වුව ද එය ද යම් මට්ටමකට අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතී.
මේ තත්ත්වය වළක්වා ගැනීමට, පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නිවස හා අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදු කර ගන්නා ලෙසයි.
මෙය සෞඛ්‍ය අංශයට හෝ පොලිසියට පමණක් සිදු කළ හැකි කාර්යයක් නොවන බවත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.
ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේ දී හඳුනා ගැනිණි.
එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා මෙහි දී පැවසීය.