විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පාසල් පද්ධතියේ කාලීන තත්ත්වය පිළිබඳ සලකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අද (21) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස්වරයා පැමිණ සිටි අතර විද්‍යාපීඨ කොමසාරිස්වරයා සහ ප්‍රකාශන කොමසාරිස්වරයා ඇතුළු සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහභාගී වී සිටියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ය.
විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ශික්ෂණලාභීන් 7800කට ගුරුපත්වීම් ලබාදීම ලබන ජූනි මස 15 දින සිදු කරමින් පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
උපාධිධාරී ගුරුපත්වීම් හා විදුහල්පති පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ලබන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්වයට ගෙන ඒමට විභාග කාල සටහන යාවත්කාලීන කිරීමට බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද මෙහිදී සිදු විය.
පාසල් පෙළපොත් හා නිල ඇඳුම් ඛෙදා දීම පිළිබඳ ව කරුණු ද වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.