Thursday, April 25, 2024
Follow Us
නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 ට පත්වීම්

දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) පත් කෙරිණි.

ඒ අනුව මෙම පත්වීම්ලාභීන් සංකේතවත් කරමින් ඉන් ඉහළම ලකුණු ලැබූ නව නිලධාරිනියන් දස දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

ඉන් 49 දෙනෙකු රේඛිය අමාත්‍යංශය යටතේ පවතින රෝහල් වෙත මෙන්ම තවත් 173 දෙනෙකු පළාත් සභා යටතේ පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ හා රෝහල් සඳහාද අනුයුක්ත කෙරේ.

වසර එක හමාරක පුහුණුව ලැබූ මෙම පිරිසට අමතරව තවත් 1000 ක කණ්ඩායමක් මේ වනවිට පුහුණුව ලබමින් සිටින අතර ඔවුන් ඉදිරියේදී නව පත්වීම්ලාභීන් ලෙස සෞඛ්‍ය සේවාවට එක් වීමට නියමිතය. මේ වන විට මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 8753 දෙනකු රාජකාරියේ නිරත වේ.

රෝහල් වල සූතිකාගාර සේවයේ මෙන්ම ක්ෂේත්‍රයේ ළමා හා මාතෘ සායන , නව ජන්ම සායන,පූර්ව හා පසු ප්‍රසව නිරීක්ෂණ කටයුතු, ළමා එන්නත්කරණය , සෞඛ්‍ය අධ්‍යාපනය ආදී විශාල කාර්යභාරයන් රැසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් විසින් සිදු කරනු ලබයි.