Wednesday, November 06, 2024
Follow Us
“ඔබට ගෙයක් - රටට හෙටක්” සඳහා භාණ්ඩාගාරයෙන් මුදල්

“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.

ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් මෙම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම මුලද ලබාදී ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

එම නිවාස 2265 ඉදිකිරීම් කටයුතු මේ වනවිට විවිධ අදියරවල පවතී. ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම මුදල් යොදාගනමින් “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර, අවසන්කිරීමට නොහැකිවූ සියලුම නිවාසවල ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.

“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.