එකිනෙක අතර මනාව සම්බන්ධීකරණයක් නැති රජයේ ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුන මහා භාණ්ඩාගාරය සමඟ තොරතුරු තාක්ෂණ පද්ධතියක් මඟින් එකට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ වසර 2026 වන විට මුළුමනින්ම සිදු කර අවසන් කිරීමට රජය බලාපොරොත්තු වේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන රජයේ ආදායම් එක්රැස් කරන ප්‍රධාන ආයතන තුන තොරතුරු තාක්ෂණ පද්ධතිය ඔස්සේ මහා භාණ්ඩාගාරය සමඟ ඒකාබද්ධ කොට රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමට හා මනා කළමනාකරණයකට පත් කිරීමට අරමුණු කොට ඇත.
දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වැඩි දියුණු කිරීම මඟින් බදු ආදායම් වැඩි කර ගැනීමට පමණක් නොව ආදායම් පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීමට ද හැකි වනු ඇත. ඒ සමඟම එකතු කරන අගය මත බදුවලට අදාළ ලිපිගොනු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගොනුගත කිරීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ද එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තුව වේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතියද වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. මේ වන විටත් සුරාබදු දෙපාර්තමේන්තුව සතුව ඩිජිටල්කරණය වූ විධිමත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් නැත. ඒ නිසා ඉක්මනින් එම පද්ධතිය ස්ථාපිත කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගනිමින් සිටියි.
වසර 2021, 2022 වන විට මෙරට ආදායම් සහ ප්‍රදානවල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.3%කි. එය පිළිවෙළින් වසර 2023දී 11%ක්, වසර 2024දී 13.3%ක්, වසර 2025දී 14.9%ක් සහ වසර 2026 වනවිට 15%ක් දක්වා වැඩි කර ගැනීමේ රාජ්‍ය මූල්‍ය අංශයේ මධ්‍යකාලීන ඉලක්ක ජය ගැනීමේ අරමුණින් මේ ඩිජිටල්කරණ වැඩිදියුණු කිරීම සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
-Dinamina