Wednesday, November 06, 2024
Follow Us
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව ශ්‍රවණාගාරයක්

දිගුකාලීන රාජත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රදානයක් ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ(04) සිදු  කෙරිණි.



ඒ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතාගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉදිකිරීමට නියමිත නව ශ්‍රවණාගාර ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් 700කට පමණ ශ්‍රවණාගාර පහසුකම් ලබාගත හැකිය. මෙම ශ්‍රවණාගාරය ශබ්ද සහ ආලෝකය සහිත වේදිකාවක්, බැල්කනියක් සහිත සම්පූර්ණ වායුසමීකරණය කරන ලද ප්‍රධාන ශාලාවක්, පාලක මැදිරියක් අතුළු සියලු පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අපේක්ෂිත කාලය මාස 6 කි.

මෙම උත්සවය සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරම්භ වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය ගුවන් හමුදා සේවා වනිතා සුභසාධක සංගමයේ සභාපතිනී නීතා චෞද්‍රි මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් සිවිල් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරි එයාර් කොමදෝරු දේශප්‍රිය සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගි වූහ.