Wednesday, November 06, 2024
Follow Us
කොහුවල-ගැටඹේ ගුවන් පාලම් වැඩ යළි අරඹයි

හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙරට ගුවන් පාලම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට දෙරට අතර එකඟතාවකට එළඹ තිබේ.

හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්ධියේ සහ ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලම්වල ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදි කිරීම අවසන් කිරීමටත්, එහි දෙවැනි අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යවරයා හමුවේ එකඟතාවට එළඹිණි.

හංගේරියානු රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් ඇතුළු නිලධාරිහු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.