Wednesday, November 06, 2024
Follow Us
නව වෛද්‍යවරුන් 1320 ට පත්වීම්

නවක වෛද්‍යවරුන් 1320‌ දෙනෙකු සදහා ලබන 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.


ඒ යටතේ සංකේතාත්මකව වෛද්‍යවරුන් 5 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (21) පියවර ගනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් සෞඛ්‍ය අමාත්‍යංශයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් පත්වීම් ලබා ගත් වෛද්‍ය කේ.බී.එස්.ප්‍රභාෂ්වර මහතා හොරණ මුලික රෝහල සදහාත් , වෛද්‍ය ඒ.එම්.අලබඩආරච්චි මහතා කරාපිටිය ශික්ෂණ රෝහල සදහාත්, වෛද්‍ය කේ.එම්.ටී.පී කුලසිංහ මෙනවිය කරාපිටිය ශික්ෂණ රෝහල සදහාත්, වෛද්‍ය ඩී.එල්.ඩී උදාර මහතා කළුතර මහ රෝහල සදහාත්, වෛද්‍ය පී.ජී.එන්.ජේ ඩයස් මහතා කරාපිටිය ශික්ෂණ රෝහල සදහාත් අනුයුක්ත කර ඇත.
මෙම වෛද්‍යවරුන්ගෙන් 90% ක් දුෂ්කර ප්‍රදේශ වල රෝහල් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර මේ වන විට මෙරට සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 19,000 පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවයි.
මේ අතර මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1500 ක් 1800 ක් අතර ප්‍රමාණයක් වන බවත් එය 5000 ක් දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එය ඉලක්ක කර ගනිමින් කටයුතු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාශය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.