MOP හෙවත් බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4,500කින් මිල පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ දී මේ සම්බණ්ධව රජයේ අවධානය යොමු කර තිබෙන අතර, දැනට වෙළඳපොලේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළඳපොළළ තුළ තරඟකාරීත්වයක් මතු වී තිබේ. එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී ඇත. ඒ අනුව ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවුනාක් මෙන් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තව දුරටත් අඩු වනු ඇති බව ද පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර තිබේ.