රජය විසින් 2022/23 මහ කන්නයෙහි වී අස්වැන්නෙන් වී මිලදී ගැනීම සහ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇති වී තිබෙන ගැටලු පිළිබඳව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහු සහ දිස්ත්‍රික් ලේකම්වරු සෘජුව සහ මාර්ගගත තාක්ෂණය හරහා මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී වී මිලදී ගැනීමේ සහ බෙදාහැරීමේ දී ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු තුනක් හඳුනාගන්නා ලදී.
වී නිෂ්පාදනය නොකරන දිස්ත්‍රික්කවලට සහල් බෙදාහැරීමේදී සිදුවන ප්‍රමාදය පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්විය. ඒ අනුව, වී නිෂ්පාදනය නොකරන දිස්ත්‍රික්කවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට පළමු හාල් කිලෝ 10 කඩිනමින් බෙදා හැරීමට සැලැස්මක් සකස් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම වී මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය නියම කරන ලද මිලට වී මිලදී නොගන්නා බවත් එමගින් ගොවීන්ට නිසිලෙස ප්‍රතිලාභ නොලැබෙන බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මෙම අක්‍රමිකතා වැළැක්වීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු අවධාරණය කළහ.
ඒ අනුව වී මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා හඳුනාගෙන ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් කාරක සභාවේ සභාපතිවරයා මේ තුළින් ගොවීන් ගොවිතැනින් ඉවත්ව යෑම වළක්වා ගත හැකි බවද සඳහන් කළේය.
මේ අතර, ප්‍රතිලාභීන්ගේ දත්ත නඩත්තු නොකිරීම හේතුවෙන් සහල් බෙදාහැරීමේ දී මහජනතාවට අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බව කාරක සභාවේ දී අවධානයට ලක් විය.
මේ හේතුවෙන් අගහිඟකම් ඇති සුදුස්සන්ට ප්‍රතිලාභ නොලැබෙන බවත්, නුසුදුස්සන්ටත් සහල් ලැබෙන බව මන්ත්‍රීවරු පැවසූහ.
තවද, මහජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් දත්ත ගබඩාවක් නිර්මාණය කළ හැකි බව ද කාරක සභාව පෙන්වා දුන්නේය.
මෙයට අමතරව, 2023 යල කන්නය සඳහා පොහොර බෙදාහැරීම, පොහොර මිල නියාමනය කිරීම, කාබනික පොහොර නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම, දේශීය බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ආනයන කරනු ලබන බීජ සඳහා මිල නියාමනය කිරීම ඇතුළු කාරණා පිළිබඳවද කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.