Thursday, November 07, 2024
Follow Us
මහනුවර ඩිපෝ සඳහා නව බස් රථ 26ක්‌

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහනේ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

ඒ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ 07ක්‌ වෙත නව බස් රථ 26ක්‌ බෙදාදීම සිදුවිය.

මේ වන විට අදියර කිහිපයක් යටතේ දිවයින පුරා ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදාදීම ආරම්භ කොට සිදු කෙරෙමින් පවතින අතර අප්‍රේල් මස අවසන් වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ලැබෙන බස්රථ 500 ම මෙරට පොදු ප්‍රවාහන ජාලයට එක් කිරීම අරමුණු වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

වර්තමාන තත්ත්වයට අනුව පාඩු ලබන ආකාරයෙන් පවත්වාගෙන යන සේවාවන් පාඩු නොලබන ආකාරයට පරිවර්තනය කර ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යරයා ලංකා ගමනාගමන මණ්ඩලය තුළ පවතින ගැටලු එකිනෙක නිරාකරණය කරගනිමින් මෙය ලාභදායී බවට පත් කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද පෙන්වා දුන්නේය.