Thursday, November 07, 2024
Follow Us
ගොවීන්ට සහනාධාර අහිමි කළ රජයේ නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ (30) පියවර ගත්තේය.

මෙම නිලධාරියා විසින් රජය මගින් ගොවිජනතාවට නොමිලයේ ලබා දෙන සහනාධාර කිසිවක් ගොවීන් 3000කට අධික පිරිසකට ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී නැති බව ගොවි නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැමිණිළි කර ඇත.


මෙම පැමිණිළි පිළිබඳව විමර්ශනය කර එකී සංවර්ධන නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

මෙම සංවර්ධන නිලධාරියා විසින් සිදු කරන ලද අක්‍රමිකතාවයන් අනුව රඹේ බල ප්‍රදේශයේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි විය. එමෙන්ම. දැනට නොමිලයේ නිකුත් කරන මඩ පොහොර හා චීන රජය විසින් ලබා දුන් ඉන්ධන සහනාධාරය ද ඇතුලු සහනාධාර රැසක් එම ගොවි ජනතාවට අහිමි කර ඇත.
ඒ අනුව රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව අද දින පියවර ගෙන ඇත.

එමෙන්ම මෙවැනි චෝදනා රැසක් ඒල්ල වූ තවත් සංවර්ධන නිලධාරින් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් රැසක් සම්බන්ධව දැනට සිදු කරන අතර එම විමර්ශන ද කඩිනමින් අවසන් කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.