මෙරටට ලැබුණු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඊයේ (21) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී යල කන්නයේ පොහොර බෙදාහැරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැති අතර එහි දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.
යල කන්නය සඳහා මඩපොහොර බෙදා හැරීම පසුගිය සඳුදා ආරම්භ වූ අතර ඊයේ (21) දිනය වනවිට මඩපොහොර මෙට්‍රික් ටොන් 9177ක් බෙදා හැර තිබේ. එමෙන්ම මේ වනවිට ගොවින් විසින් ලබා ගෙන ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 994කි. ගොවින් ලක්ෂ 12කට වී වගාව සඳහා මඩ පොහොර ලබා දෙන අතර දින දෙකක් තුළ ගොවීන් 20,940ක් පොහොර ලබා ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තූවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.
මඩපොහොර තොගය දිවයින පුරා බෙදා හැරීම සඳහා රජය විසින් වැය කරන මුදල රුපියල් මිලියන 2500ක් බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. UNFAO හා USAID ආයතන මඩපොහොර නොමිලයේ මෙරටට ලබා දුන්න ද ඒවා රට පුරා බෙදා හැරීම සඳහා වන ප්‍රවාහන ගාස්තු රජය විසින් දැරිය යුතුය. එමනිසා අදාල පොහොර තොගය බෙදාහැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2500ක මුදලක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
රට තුළ ආර්ථික ගැටලු තිබුනත් ගොවි ජනතාවගේ යහපත උදෙසා රජය විසින් අවශ්‍ය මුදල් ලබා දෙන බවත් ඊට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමන්ට කෘතඥතාවය පළ කළ යුතු යැයි ද ඇමැතිවරයා පැවසීය.
එපමණක් නොව මහ කන්නයේ දී යුරියා පොහොර බෙදාහැරීම සඳහා ද රජය විසින් විශාල මුදලක් වැය කළේය. යුරියා මෙට්‍රික් ටොන් 110,000ක් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 6000ක මුදලක් වැය කරනු ලැබ තිබේ.
වී වගා කරන දින වකවානු අනුව මඩපොහොර ගොවීන් වෙත ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පහසුවෙන් ලබා ගැනීමට කටයුතු යොදා ඇත. මෙවර යල කන්නයේ දී වී වගා කටයුතු දිවයින පුරා අදියර තුනක් යටතේ සිදු කෙරෙන අතර ගොවීන්ට තම කුඹුරුවල වී වගා කිරීමට පෙර මූලික පොහොර වශයෙන් මඩපොහොර යෙදීමට හැකියාව මෙවර යල කන්නයේ දී ලැබී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.