Thursday, November 07, 2024
Follow Us
උමා ඔයෙන් මෙගාවොට් 120ක් ජූනි මසයේදී ජාතික විදුලිබල පද්ධතියට

උමා ඔයෙන් ව්‍යාපෘතිය යටතේ කරදගොල්ලේ ඉදිවන මෙගාවොට් 120 ක භුගත ජල විදුලි බලාගාරයේ කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය එළඹෙන ජූනි මාසයේදී පමණ විවෘත කිරීමේ හැකියාව පවතී.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් වන “උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ” වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් ඊයේ(03) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ යුතුව තිබුනේ 2015 වර්ෂයේදීය. ව්‍යාපෘතියට එල්ල වූ විවිධ බාධාවන් හේතුවෙන් එහි ඉදිකිරීම් මන්ද ගාමීව සිදු උවත් මේ වන විට එහි 97% ක වැඩ අවසන් කොට තිබේ.

ඉරාන රජය හා ශ‍්‍රී ලංකා රජය සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව 2010 වර්ෂයේ මාර්තු 15 වන දින වැඩ ආරම්භ කරන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 529 ක්. උමා ඔය ද්‍රෝනියේ පාරිසරික හා අනෙකුත් අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එහි සිට ජල ඌණතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145 ක් හැරවීම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ තුළින් වෙල්ලස්ස සහ රුහුණුකරයේ නව ඉඩම් හෙක්ටයාර් 4500 කට යල සහ මහ කන්න වගාකිරීමට අවශ්‍ය ජලය සැපයීමට බලාපොරොත්තු වන අතර දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටයාර් 1500 කට යල කන්නය වගා කිරීම සඳහා ජලය සැපයීමටත් අපේක්ෂිතය.

මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.