Thursday, November 07, 2024
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප ගැන තීරණයක්

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය .

මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වේ.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලබාදීම මෙහි අරමුණයි.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් සියයට 8ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් සියයට 12ක් මාසිකව යෝජිත අරමුදලට බැරකළ යුතු වෙයි.

යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතයි.

මේ අතර 2016 ජනවාරි මාසයෙන් පසුව රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද සේවකයින් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඇතුළත් වන බැවින්, තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධවීමට ඔවුන්ටද හැකිවනු ඇති.