Thursday, November 07, 2024
Follow Us
හෙට සිට මාකූඹුර බහුවිට ප්‍රවාහන මාධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යයි

මාර්තු පළමුවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බත්තරමුල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් මගී ජනතාව හා වාහන හිමියන් දිගු කලක් තිස්සේ අපහසුතාවයන් රැසකට මුහුණ දී සිටිනවා. මෙම තදබදය වැළැක්වීම, ඉන්ධන පිරිමැස්මක් ඇතිකිරීම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථවාහනවල ආරක්ෂාව තහවුරු කිරීම, මාර්ග හා බැඳුණු විනය පවත්වාගෙන යෑම ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් ඒ ඒ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ ද සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රවාහන සැලැස්මට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන එක්කර තිබෙනවා. ප්‍රධාන මාර්ග හතක් ඔස්සේ දෛනිකව ලක්ෂ 5කට අධික රථවාහන ප්‍රමාණයක් කොළඹට ඇතුළු වනවා. එම රථවාහන ප්‍රමාණය අවම කිරීම, බස් රථ හා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, මාර්ග අනතුරු අවම කිරීම, මගී ආරක්ෂාව තහවුරු කිරීම, පරිසර සංරක්ෂණය ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් රුපියල් මිලියන 2600ක වියදමින් අති නවීන පහසුකම් සහිතව කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. එහි සාර්ථකත්වය පදනම් කර ගනිමින් මේ වන විට කඩවත ඉදිවන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ද 90% පමණ අවසන්ව තිබෙනවා. මෑතක සිට මගී ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මඟහැර ධාවනය සිදු කරමින් සිටිනවා. විශේෂයෙන් හයිලෙවල් මාර්ගයේ මෙම ප්‍රදේශයේදී මගීන් නංවා ගැනීම හා බැස්සවීම සිදු කිරීම නිසා මාර්ග අනතුරු වැඩි වීම හා මගීන්ට අවදානම් සහිත තත්ත්වයක් මතුව තිබෙනවා.

විවිධ අවස්ථාවල මේ පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, රථවාහන පොලිසිය, ජාතික ගමනාගමන කොමිසම ඇතුළු අදාළ පාර්ශ්වයන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන මාර්තු පළමු වැනිදා සිට සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව 1984 අංක 40 දරන මෝටර් රථවාහන පනතේ 106-6 වැනි වගන්තිය ප්‍රකාරව හයිලෙවල් මාර්ගයේ කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් හා නීතිවිරෝධී ලෙස මගීන් නංවා ගැනීම සහ බැස්ස වීම සඳහා වාහන නැවැත්වීම සපුරා තහනම් වනු ඇති. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා ගමන් කිරීම කළ යුතු බවට එමඟින් නියම කර තිබෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ සියලුම බස් රථවලට මෙම නීතිය බල පවත්වනු ලබන අතර, ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මේ පිළිබඳව ලිඛිතව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එසේම ජාතික ගමනාගමන කොමිසම හරහා පුද්ගලික බස්රථ වෙත ද මෙම නීතිය පිළිබඳව දැනුම් දී තිබෙනවා. මෙම නීති රීතිවලට අනුකූල නොවන යම් අයෙකු වෙතොත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ ගමන් බලපත්‍රය අහෝසි කිරීමට ද සිදුවන බව එමඟින් දැනුම් දී තිබෙනවා.