ගුවන් ගමන් පාලකවරුන් මෙරට හැර යාම හේතුවෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නැති කිරීම සඳහා ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට නියෝග කර ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 19 වන දින රත්මලානේ පිහිටි සිවිල් ගුවන්සේවා පුහුණු පාසලට පැමිණි අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.
මෙහිදී අමාත්‍යවරයා දැනට ගුවන් ගමන් පාලකවරුන් ලෙස පුහුණුව ලබමින් සිටින සිසුන් සහ උපදේශකවරුන් හමු වී පාසලේ වර්තමාන තත්ත්වය සහ අඩු පාඩු පිළිබඳව කරුණු විමසීය.
පුහුණු කටයුතු සඳහා දැනට පවතින තාක්ෂණික ගැටලු පිළිබඳව පුහුණු උපදේශකවරුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම තාක්ෂණික අඩු පාඩු මගහැරවීමට අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව ලබන අප්‍රේල් 01 වන විට ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු පුහුණුව සඳහා බඳවා ගැනීමට මෙහිදී තීරණය කර තිබේ. මෙහිදී අමාත්‍යවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම පුහුණු කටයුතුවලදී එක් පාලකවරයකු සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 05ක පමණ මුදලක් රජය විසින් වැයකරන බවත්, එසේ පුහුණුව අවසන් කර රටහැර ගියහොත් එය රටට දරාගත නොහැකි පාඩුවක් මෙන්ම ගුවන් සේවාවේ කඩාවැටීමක් සිදුවන බවය. එබැවින් පුහුණුව නිමකර සේවයට බඳවා ගන්නා එක් ගුවන් ගමන් පාලකවරයකුගෙන් රුපියල් මිලියන 10ක ඇපකරයකට හා වසර 10 ක සේවා කාලයකට යටත්ව බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන් තොටුපල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.