Thursday, November 07, 2024
Follow Us
අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය ශ්‍රී ලංකාවෙන්ම නිපදවීමට සැලසුම්

රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

බෝග වර්ග 13ක් සදහා පත් කර ඇති බෝග සම්බන්ධීකාරක නිලධාරින් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම කරුණ අනාවරණය විය.

විශේෂයෙන් මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම නිසා මෙම ඉළක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.

එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් අප රටේ මිරිස් වගාව අඩාල කිරීමට බලපෑ කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත් , ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් වේ. පසුගිය වසරේ දී මෙරට අමු මිරිස් මෙට්‍රික් ටොන් 35,718ක් නිෂ්පාදනය කර ඇත. ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,696කි. අප රටට අවශ්‍ය සමස්ත අමුමිරිස් ප්‍රමාණය ම දැනට අප රටේ නිපදවනු ලැබුවත් වියළි මිරිස් තවමත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.