Thursday, November 07, 2024
Follow Us
දේශීය වියළි මිරිස් නිෂ්පාදනය 25% ඉහළ නැංවීමට සැලසුම්

මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීමට කුඹල්වෙල ප්‍රදේශයේ වගා කර ඇති මිරිස් වගාවන් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා සහභාගි විය.


පසුගිය කාලය තුළ උමා ඔය ව්‍යාපෘතියේ ඉදි කිරීම් නිසා ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බණ්ඩාරවෙල කුඹළ්වෙල ජනතාවගෙන් විශාල පිරිසකට සිය ජීවන වෘත්තින් අහිමි විය.
විශේෂයෙන් වී වගාව මෙන්ම එළවළු වගා කළ ගොවීන් එම ජල කාන්දුව නිසා අසරණ තත්ත්වයට පත්විය. මේ නිසා වගා කටයුතු අහිමි වූ ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වා දුන් මිරිස් වගා ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීහු 300ක් එක් ගොවියෙක් අක්කර භාගයක් බැගින් අක්කර 150ක මිරිස් වගා කර තිබේ. මෙම වගා කටයුතු සඳහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් ලක්ෂ 10ක් බැගින් එක් ගොවියෙකුට නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් උපකරණ හා තාක්ෂණික ක්‍රම ආධාර වශයෙන් ලබා දී ඇත.

එමෙන්ම දැනට අපේ රටේ වාර්ෂිකව අවශ්‍ය සමස්ත වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බවත් සදහන් කළේය. එමනිසා මෙම වසර තුළ අප රටට අවශ්‍ය සමස්ත මීරිස් ප්‍රමාණයෙන් සියයට 20ක් මෙම වසර තුළ නිපදවීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකෝන් මහතාට උපදෙස් දුන්නේය.