Thursday, November 07, 2024
Follow Us
6-13 දක්වා සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කිරීමක්

එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බවත් තොරතුරු තාක්ෂණ විෂයත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ කොළඹ පැවති උත්සවයට එක් වෙමින්ය.

එමෙන් ම මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුවත් සමග බැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූල ව ඉහළ නැංවිය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු බවත් ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු බවත් පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.