Friday, November 08, 2024
Follow Us
හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් වෙයි

හෝමාගම මූලික රෝහල, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ විශ්වවිද්‍යාලවල විවිධ පීඨ රැසක් ඇතුළුව රජයේ ආයතන විශාල ප්‍රමාණයක් ද පිහිටා තිබෙන හෝමාගම ප්‍රදේශය අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වශයෙන් සහ අධිවේගී මාර්ගයට ආසන්නයේම පවතින රෝහලක් ලෙසද හෝමාගම මූලික රෝහල තුළින් විශාල පිරිසකට සේවා සලසයි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙය ලබා දී තිබේ.

එසේම ප්‍රදේශයේ ජනගහනයටත් වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන හෝමාගම මූලික රෝහලේ දෛනිකව රෝගීන් දහසකට වැඩි පිරිසකට ප්‍රතිකාර සිදු කෙරේ.

සාමාන්‍ය මූලික රෝහලක සිදුකෙරෙන සේවාවන් වලට අමතරව විකලාංග, වකුගඩු, හෘද රෝග ආදී විශේෂඥ වෛද්‍ය සේවාවන් රැසක් ද මේ වන විටත් හෝමාගම මූලික රෝහල මගින් සැලසෙන අතර අවිස්සාවේල්ල සහ කොළඹ අතර පවතින ප්‍රධානතම රෝහල වන්නේ ද හෝමාගම මූලික රෝහල බැවින් එය ශික්ෂණ රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීමේ මූලික කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය කාර්යාලයේ දී පැවැත්විණි.


හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම කඩිනමින් සැකසීමටත්, පුද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් සිදු කළ හැකි සංවර්ධන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් රෝහලේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවත් මෙහි දී අවධානය යොමු කෙරිණි.
ඉදිරියේ දී හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඇතුළු සංවර්ධන කටයුතුවලට ද මේ තුළින් විශාල සේවාවක් සැලසෙන බැවින් ඉතාමත් කඩිනමින් මෙම කටයුතු අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.


හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුලු රෝහලේ පරිපාලනයට සම්බන්ධ නිලධාරිහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.