Friday, April 19, 2024
Follow Us
බිත්තර ආනයනය නොකිරීම ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

බිත්තර සාමාන්‍ය ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති නම් එම හිඟය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් බිත්තර ආනයනය කළ යුතු බව කැබිනට් මණ්ඩලයේ අදහස වී තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වෙනත් රටවල් බිත්තර ලබා ගන්නා රටකින් මෙරට ලබාගැනීමට නොහැකි වීම ගැටලු සහගත තත්ත්වයක් බවත් අවශ්‍ය ප්‍රමාණයේ නිෂ්පාදන නොමැති වුවහොත් භාණ්ඩ මිල ඉහළ යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අවශ්‍ය බිත්තර කුඩා ප්‍රමාණයක් ආනයනය කර රෝහල්වලට, පාසල්වල දිවා ආහාරය සඳහා, බේකරි කර්මාන්තය සඳහා බෙදාදීමට වෙළෙඳ අමාත්‍යාවරයා කටයුතු කළත් ඊට අනුමැතීන් ලබා නොදීමට ඇතැම් බලවේග ක්‍රියාත්මක වෙන බව කැබිනට් මණ්ඩලට දැනුම් දී ඇත.