Saturday, April 20, 2024
Follow Us
අනුරාධපුර - වවුනියාව දුම්රිය මාර්ග සංවර්ධනය මාස පහ තුළ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස පහ තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්.

පසුගිය 8 වැනිදා ආරම්භ කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතී. මෙම වසරේ සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද මෙම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි.

ඉන්දියාවේ IRCON සමාගම මගින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 123 ක්‌ සංවර්ධනය කිරීමට නියමිතයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 91.27 ක්‌ වෙන්කර තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉදිකිරීම් භාර සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.