Friday, November 08, 2024
Follow Us
දුම්රියෙන් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියක් 

දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරිමේ ව්‍යාපෘතිය  පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය අයවැය වාර්තාවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ දුම්රිය මගින් උඩරට ප්‍රදේශවල සිට කොළඹට එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව කරුණු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

 ඒ අනුව  හාලිඇල, ඔහිය, අඹේවෙල, පට්ටිපොල, නානුඔය වැනි දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් භාන්ඩ ප්‍රවාහනයේ හා මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ නිරත වන පෞද්ගලික අංශයේ ආයතනවල දායකත්වය ද සහිතව උඩරට ප්‍රදේශවල නිෂ්පාදනය වන එළවළු සහ පලතුරු වඩාත් ක්‍රමවත්ව සහ ඉහළ ප්‍රමිතියකින් යුතුව අගනුවර ඇතුළුව අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය මැදිරි කිහිපයක් යොදා ගනිමින් පර්යේෂණ ධාවනයක් සිදුකර තිබේ.

එහි වත්මන් තත්වය සහ පර්යේෂණ ධාවනයෙන් ලබාගත් නිරීක්ෂණයන් පිළිබඳව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් නිලධාරින් සහ ව්‍යාපෘතියට දායක වන පෞද්ගලික අංශයේ ආයතනවල නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය.

 එසේම වඩා විධිමත්ව හා සෞඛ්‍ය ආරක්ෂිත වත්, අවම පිරිවැයකින් සහ අවම කාලයකින් මෙම එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයත්,  දැනට එම කාර්යයෙහි නිරත වන සුපිරි වෙළඳසැල ජාලයන් හා භාණ්ඩ බෙදාහැරීමේ ආයතන විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී එම ආයතනවල නියෝජිතයින් විසින් පැහැදිලි කළේය.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන පෙබරවාරි මස මුල් සතිය වන විට සවිස්තරතාත්මක වාර්තාවක් තමාට ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේ ම  කොළඹ හා ඒ අවට ආර්ථික මධ්‍යස්ථාන වෙත දැනට ලොරි රථ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් එළවළු ප්‍රවාහනය  සිදුකරන සැපයුම්කරුවන්ගේ  සෘජු අදහස් ද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා අවධාරණය කළේය.

 මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.