දුම්රිය සතු වත්කම්, දේපළ සහ ඉඩම් කළමනාකරණයට විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටි වීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් කළමනාකරණය යටතේ දුම්රිය සතු ඉඩම් බදු දීම සහ අනවසරයෙන් දුම්රිය ඉඩම් භුක්ති විඳින පිරිස් නියමානුකූල කිරීම පිළිබඳ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමකදී දුම්රිය බලධාරින් වෙත අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට දිවයින පුරා අක්කර 14000කට අධික ඉඩම් ප්‍රමාණයක් පවතින බවත්, ඉන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථාන සහ අනෙකුත් පරිපාලන අවශ්‍යතාවයන් සඳහා අක්කර 8000කට වැඩි idam ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර වත්කම් කළමනාකරණය යටතේ බදු පදනමෙන් ලබාදිය හැකි ආකාරයේ ඉඩම් අක්කර පන්දහසක් පමණ පවතින බවත් මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.
නමුත් බදු පදනම මත බාහිර පාර්ශවයන්ට ලබාදී බදු අයකර ගනු ලබන්නේ අක්කර එක්දහස් පන්සියයක පමන ඉඩම් ප්‍රමාණයකින් බවත් මෙහිදී අනාවරණය විය.
ඒ අනුව ඉන් පරිබාහිරව කිසිදු නීත්‍යානුකූල අයිතියකින් හෝ බදු ගිවිසුමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින පිරිස් හඳුනාගනිමින් ඔවුන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු බදු ආදායම කඩිනමින් අත්පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
ඒ අනුව දුම්රිය සතු වත්කම් කළමනාකරණය පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් පසුගිය වසරේ අග භාගයේ දී කැබිනට් අනුමැතිය ලබාගත් පරිදි දුම්රිය සතු දේපළ හා ඉඩම් කළමනාකරණයට අදාළව වෙනමම ඒකකයක් කඩිනමින් පිහිටුවීමට මෙහිදී අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව රැස්කරගන්නා තොරතුරු පදනම් කර ගනිමින් අදාල පාර්ශවයන් සමඟ බදු ගිවිසුම් සඳහා ගතවන කාලය අවම කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, මෙම කටයුතු සඳහා නීත්‍යනුකූලව එකඟතාවයන්ට හෝ බදු ගෙවීම සඳහා ගිවිසුම් ගත නොවන පිරිස් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගැනීම සහ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම විශාල වාණිජ වටිනාකමකින් යුතු, දුම්රිය සතු ඉඩම් පවතින කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, නුවරඑළිය ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජංගම සේවා පවත්වමින් ජනතාව දැනුවත් කර අදාළ බදු මුදල් ගෙවා නියමානුකූල බවට පත්කිරීම පිළිබඳව කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව මෙම වසරේ අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ජනතාව ඒ පිළිබඳ දැනුවත් කර බදු ගිවිසුම් අලුත් කර ගැනීම පිළිබඳව එකඟතාවයන්ට පැමිණීමට කල රාමුවක් සකස් කරන ලෙසත් අදාල නිලධාරින්ට ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.