ලංගම සේවකයන්ට අමානුෂික පහරදීම් හා හිරිහැර කර වරදකරුවන් වන පුද්ගලික බස්රථවල මාර්ග බලපත්‍ර වසර 2කට අහෝසි කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම සේවකයින්ට සිදුවන ශාරීරික පීඩා හා අමානුෂික පහරදීම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඩිපෝ 107 ක් මගින් බස්රථ 4700 පමණ දිනපතා මගී ප්‍රවාහනය උදෙසා ධාවනයේ යොදවා තිබෙන බවත් 75 වන නිදහස් සමරුවට සමගාමීව පෙබරවාරි මස තුළ තවත් බස්රථ 1000ක් මෙම ඇනියට එක් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ලාභ අපේක්ෂාවෙන් පමණක් මගී ප්‍රවාහන සේවා පවත්වා ගෙන යනු ලබන සමහර පෞද්ගලික බස්රථ සේවකයින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සමඟ නිතර ගැටුම් ඇතිකර ගන්නා අතර එම තත්ත්වය ක්‍රමිකව වර්ධනය වන බවත් 2022 වර්ෂයේ අගභාගයේදී හා 2023 මුල් සති 02 ක තුළ නිරීක්ෂණය වී තිබෙන බවත් අමාත්‍යරයා සඳහන් කළේය.
මෙම පොදු දේපල පරිහරණය කරන පිරිසට සිදුවන හිරිහැර පිළිබඳ පොදු දේපල පනත යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ විධිවිධානවලට අනුව බියෙන් හා සැකයෙන් තොරව පොදු දේපල පරිහරණය කරන්නට ඉඩ ලබා දිය යුතු බැවින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.