Friday, November 08, 2024
Follow Us
 රියදුරු බලපත්‍ර ඡායාරූප ලබා ගැනීම online ක්‍රමවේදයට

රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ සිදු කිරීමට ඡායාරූප ශාලාවලට අවසර ලබාදීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) ඡායාරූප ලබාදීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සාර්ථකව අතර එම සාර්ථක ක්‍රමවේදය රියදුරු බලපත්‍ර සඳහා යොදා ගන්නා ඡායාරූප සහ වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප ද එම ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සමාජික ඡායාරූප ශාලා 7,000කින් පමණ, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉහළ ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මෙම ඡායාරූප සේවාවන් ලබා දීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් කරුණු පැහැදිලි කළහ.

ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමට වැයවන පිරිවැය සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මඟින් දැරීමට එකඟතාවය පළ කර ඇත. එසේම එහි නඩත්තුව සඳහා වාර්ෂිකව බලපත්‍ර ගාස්තු ගෙවීමට ද ඔවුන්ගේ කැමැත්ත පළ කර තිබේ.

සමස්ත ලංකා වෘත්තය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයන්ට එළඹ ඇත.