Friday, November 08, 2024
Follow Us
ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධනය ගැන සාකච්ඡා

ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධානතම මාර්ගයක්‌ ලෙස සංචාරක කර්මාන්තය වෙත මේ මොහොතේ ප්‍රමුඛ අවධානයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් කළේය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු අතර පරිසරයට හා ජන ජීවිතයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ඇල්ල ජල පෝෂක ප්‍රදේශය හා පාරිසරික වටිනාකමට හානි නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.