Friday, November 08, 2024
Follow Us

නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙටික්‌ ටොන් 1,200ක් රාජසන්තක කෙරේ

නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙටික්‌ ටොන් 1,200ක් රාජසන්තක කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් දුඹුරු සීනි දේශීයව නිෂ්පාදනය වන බැවින් ඒවා ආනයනය සීමා කර තිබෙන අතර සුදු සීනි ආනයනය කරනු මුවාවෙන් දුඹුරු සීනි ගෙන්වා ඇති බව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අදාළ සීනි තොගය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (06) ගිය අවස්ථාවේ දී ය. දැනට මෙම සීනි තොගය පෑලියගොඩ ප්‍රදේශයේ රේගු භාරයට පත් කරගෙන ඇති පෞද්ගලික ගුදමක පොලිස් ආරක්ෂාව යටතේ ගබඩා කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ උග්‍ර ඩොලර් හිගයකට රට මුහුණ දී ඇති මේ අවස්ථාවේ දී සියලු‌ දෙනා නීතිගරුක ව කටයුතු කළ යුතු බවයි.
එහෙත් අදාළ ව්‍යාපාරිකයා සුදු ලෙස ආනයනය කළ බහාලුම් තුළ 50%කට වැඩි ප්‍රමාණයක් දුඹුරු සීනි ඇති බව රේගු නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.
“ඇත්තටම අපි ඉන්නෙ ඩොලරයක් පවා රැකගත යුතු තත්ත්වයක. ඒ තරම් බරපතල විදේශ විනිමය ගැටලුවක් අපි ඉන්නෙ. එවැනි තත්ත්වයක් යටතේ ව්‍යාපාරිකයන්ගේ වගේම සාමාන්‍ය ජනතාවගේ වගකීම ඒ් වෙනුවෙන් රජය පනවපු නීති රීති අනුව කටයුතු කිරීම. මේ වැටලීම සිදු කරල තියෙන්නේ රේගුවේ නිලධාරියකු වෙළෙඳපොළේ දුඹුරු සීනි මිල දී ගත් අවස්ථාවේ දී ඒවායේ ස්වභාවය පිළිබඳ ඇති වූ සැකය මතයි.
ඉතින් සාමාන්‍ය ජනතාවටත් හැකියාව තියෙනවා කිසියම් ස්ථානයක මෙවැනි නීති විරෝධී සිදුවීමක් තියෙනව නම් ඒ් පිළිබඳ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන්න. 0112 – 471471 අංකය පැය 24 පුරාම ඒ් වෙනුවෙන් විවෘතයි. ඒ වගේ ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද 0112- 347881 අංකයෙන් මේ පිළිබඳ දැනුම් දීමේ හැකියාව තියෙනවා.
මේ තොරතුරු ලබා දෙන පාර්ශ්ව ආරක්ෂා කිරීම වගේ ම ඔවුන්ට සුවිශේෂී ත්‍යාග පිරිනැමීමට රේගුව කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කළ යුතුයි” අමාත්‍යවරයා පැවැසීය.
අදාළ ආනයනකරු විසින් ගෙන්වන ලද බහාලුම් 45ක් මෙහි දී පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර ඉන් 30ක් අදාළ ගුදමේ දී විවෘත කිරීමෙන් පසු මෙම දුඹුරු සීනි තොගය සොයා ගැණින.

 

323770409 1217525515809947 3557657460403494774 n