Friday, November 08, 2024
Follow Us
ජනතා සේවයේදී කඹ අදින්න එපා - ජනපති රාජ්‍ය නිළධාරීන්ට කියයි

ජනතාවට සේවය කිරීමේදී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමන් වෙත ඉදිරිපත් වූ ගැටලුවලින් සියයට පනහක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බවයි.

එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බවත් රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනදාට පෙර තමන් වෙත ලැබීමට සලස්වන ලෙසට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ජනාධිපතිවරයා නිළධාරීන් හමුවේ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
”ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ - බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Neth