කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය සංවිධාන කළ උත්සවයකදීය.
කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් එම සැමරුම් උත්සවය (19) කොළඹදී පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය.
මෙහිදී කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්, ලේකම්වරුන් සහ ජනාධිපති නීතිඥවරුන්ට සම්මාන ප්රදානය සිදුකෙරුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,
"මුලින්ම ඔබ මට ලබාදුන් සම්මානය ගැන මම ස්තූතිවන්ත විය යුතුයි. නමුත් මම එක දෙයක් ගැන කියන්න ඕන මම කිසිදාක මහාධිකරණයක නීතිඥ වෘත්තියේ යෙදී නැහැ. එය මම නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ එක් අධිකරණයක්. ඒකට හේතුව මම නීතිඥ වෘත්තියට සම්බන්ධ වූ කාලයේ මහාධිකරණ ස්ථාපිත කර නොතිබීම. දැන් කොළඹ වරාය නගර කොමිසම සාකච්ඡා කරමින් යනවා අලුතින් වාණිජ මහාධිකරණයක් වරාය නගර බල ප්‍රදේශය තුළ ස්ථාපිත කිරීමට. එමගින් එම ප්‍රදේශයේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කිරීමට හැකියි. අපි මෙලෙස හමුවන්නේ ඉතාම ව්‍යාකූලව පැවති වසරකට පසුවයි. එය අපේ ව්‍යවස්ථාමය සීමාවන් වගේම ව්‍යාකූල තත්ත්වයන් තුළ කටයුතු කිරීමේ හැකියාවත් පරීක්ෂාවට ලක්වූ කාලයක්. අපි මතක තබාගත යුතුයි තවමත් අධිකරණයට විශේෂිත භූමිකාවක් තිබෙනවා වගේම එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව. 21 වන සියවසේ නීතියේ භූමිකාව කුමක්ද? අධිකරණ පද්ධති වෙනස් විය යුතු ආකාරය කුමක්ද? සහ යුක්තිය පසිඳලීම වේගවත් කරන්නේ කොහොමද? මේ කියන කාරණාවලදී මහාධිකරණයට ඉටුකිරීමට වැදගත් භූමිකාවක් තිබෙනවා. විශේෂයෙන්ම එදා මම අගමැති ධුරයේ සිටියදී මුහුණ පෑ සිදුවීම්වලදී ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇතුළු නීතිඥයන් මට විශාල සහයෝගයක් දැක්වුවා. යුක්තිය පසිඳලීමේදී ඔබ පෙන්වූ කැපවීම කවදාවත් මැකී යන්නේ නැහැ."
Aruna