Friday, November 08, 2024
Follow Us
විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ යෝජනා ප්‍රතිපත්ති සම්පාදන ජාතික සභා අනුකමිටුවේදී සාකච්ඡාවට

විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේදී සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පැවති එම කාරක සභා රැස්වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විෂයභාර රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් එක් වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සහ නියාමනය සඳහා ස්වාධීන ආයතන පහක් පිහිටුවීමට යෝජනා කර ඇති බවයි කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙක් විසින් එහිදී දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය සඳහා කිසිදු යෝජනාවක් සිය කමිටු වාර්තාවේ නොමැති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. එහිදී අදහස් පළ කළ අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලි උත්පාදනය ඇතුළු කාර්යයන් සදහා සම්බන්ධවන පාර්ශ්ව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සරල කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

විදුලිබල ක්ෂේත්‍රය පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද එහිදී අනුකමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා පාර්ලිමේන්තුව හරහා අදාළ නීති සම්පාදන කටයුතු සම්බන්ධයෙන් ජාතික සභාවට යෝජනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතු බවයි.

Neth