Saturday, November 09, 2024
Follow Us
මිහින්තලා පූජා භූමිය ගැන බුද්ධ ශාසන අමාත්‍යංශය හදිසි වාර්තාවක් කැඳවයි

මිහින්තලා පූජා භූමිය තුළ හෝටල් සංකීර්ණයක් හෝ කාමර සහ අලුත් ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මිහින්තලා කටු සෑයේ කපුවන් මඟින් භාර ඔප්පු කිරීම සහ යාතිකා කිරීම සිදුකරන්නේද යන්න සොයාබලන ලෙසයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් සංවර්ධන කේ ජී එච් එච් ආර් කිරිඇල්ල පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ.

මිහින්තලා පුදබිම පිළිබඳ මෙම වාර්තාව දින 10 ක් ඇතුලත ලබාදෙන ලෙසද පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ලබාදුන් උපදෙස් අනුව තමන් මෙම වාර්තාව ඉල්ලා සිටින බව ද එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ ජී එච් එච් ආර් කිරිඇල්ල පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වා තිබෙනවා.

ඉකුත් 07 වනදාට යෙදී තිබූ උඳුවප් පුර පසළොස්වක පොහෝදා අන්‍යාගමික පූජකතුමන්ලාගේ ද සහභාගිත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රජය දැඩි ලෙස විවේචනය කළා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මිහින්තලා පූජා භූමිය සම්බන්ධයෙන් අදාළ වාර්තාව ඉල්ලා ඇත්තේ ඊට පෙරදිනයේයි.

Neth