Friday, April 26, 2024
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 151ක හිඟයක්

ඖෂධ හාරසියයක් මෙරට දී නිෂ්පාදනයට බලාපොරොත්තුව


මෙරට වෛද්‍ය සැපයුම් අංශය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය පනස්එකක (151) හිඟයක් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ එසේ වෛද්‍ය සැපයුම් අංශය තුළ අත්‍යවශ්‍ය ඖෂධ එකසිය පනස්එකක් හිඟ වුවද රෝහල් පද්ධතිය තුළ මේ වනවිට හිඟව ඇත්තේ ඖෂධ වර්ග විසි එකක් පමණක් බවය.

එසේම ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දාහතරම මෙරට පවතින බවත් ඉන් ඖෂධ වර්ග දෙකක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ලබන වසරේදී ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ අනුව ඖෂධ වර්ග එකසිය හතළිහක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ ගෙන්වනු ලබන ඖෂධවලින් ඖෂධ වර්ග දහඅටක් (18) ලබන ජනවාරි මස වන විට මෙරටට ලැබීමට නියමිතය.

එසේම රෝහල් සායනවලදී දෙනු ලබන ඖෂධ වර්ගවලින් සියයට හැත්තෑහයක් නිෂ්පාදනය කරනු ලබන්නේ දේශීය වශයෙන් බවද ඉදිරියේදී මෙම ධාරිතාව වැඩි කිරීමට බලාපෙරොත්තු වන බවද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඖෂධ වර්ග හාරසියයක් පමණ ඉදිරියේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

මෙමගින් ඖෂධ ආනයනය කිරීම සඳහා වැයවන ඩොලර් මිලියන හත්සියපනහක මුදල ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Aruna