Saturday, April 27, 2024
Follow Us
පැය 06 ක පමණ විදුලි කප්පාදුවක්

ඉදිරියේ දී විදුලි බිල ඉහළට


ලබන වසරේ සිට විදුලි ගාස්තු යළි ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඊයේ (05) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට කංචන විජේසේකර අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ලබන ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව යළි ඉහළ දැමිය යුතු බවට වන යෝජනාව පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඇතැම් අමාත්‍යවරුන් එහිදී යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසය.

කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව පවතින ගැටලුවට විසදුම් ලබාදිය නොහැකි බවය.

ගාස්තු වැඩිවීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දෛනිකව පැය 06 ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

අඩු ආදායම්ලාබී පවුල් සඳහා යම් සහනයක් ලබාදී විදුලි ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවට අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් අදාළ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකින් තොරව සාකච්ඡාව අවසන් වී ඇති බව වාර්තා වේ.

Aruna