Friday, April 26, 2024
Follow Us
දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට යන බවට පළවන මාධ්‍ය වාර්තා ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් එලෙස අර්ථ විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

අයවැය විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට සූදානම් බවයි. ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ, ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේදී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බවයි. ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමට අවස්ථාව හිමිවන අතර මූල්‍ය හානි හා ප්‍රමාදයන්ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

Neth