Friday, November 15, 2024
Follow Us
රැකියා සදහා විදෙස් ගතවන කාන්තාවන්ට අලුත් තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට, රැකියා නියෝජිතායතන මගින්, ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් විදේශ ගතකිරීම අත්හිටුවා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සංචාරක වීසා මගින් නුපුහුණු රැකියාවන් සඳහා කාන්තාවන් යොමුවීම අත්හිටුවීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

ඉකුත් කාලය තුළදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරය ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා විදේශ ගතවූවන්. එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාල දැනුම් දී ඇත්තේ ඔවුන් එම රටවලට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගින් බවයි. රැකියා නොමැතිව අතරමංව ඇති කාන්තාවන්ගේ වගකීම භාරගැනීම සඳහා කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් අදාල කාන්තාවන් එරට තුළදී විවිධ හිරිහැරයන්ට පත්ව ඇති බවටයි එහිදී දන්වා ඇත්තේ.

මේ අතර මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් කටයුතු කර තිබෙනවා.

Neth