Saturday, November 16, 2024
Follow Us
ගුරු විශ්‍රාම අයැදුම්පත් 40%ක් ආපසු හරවයි

අධ්‍යාපන කලාප කාර්යාලවල නිලධාරීන්ගේ නොසැලකිල්ල


ගුරුවරුන් විශ්‍රාම ගැන්වීමට අදාළ ලිපි ලේඛනවලින් සියයට 40ක්ම අධ්‍යාපන කලාප කාර්යාලවල නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් නැවත හරවා යැවීමට සිදුවන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් ‘අරුණ’ට පැවසීය.

ගුරුවරුන් විශ්‍රාම ගැන්වීමට අදාළ ලිපි ලේඛන මසකට 500ක් පමණ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලැබෙන අතර ඉන් සියයට 40ක්ම අංග සම්පූර්ණ කර නොමැති වීම හේතුවෙන් මෙලෙස නැවත හරවා යැවීමට සිදුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වසරකට රාජ්‍ය අංශයේ සේවකයන් විසිහත්දහසක් පමණ විශ්‍රාම යන අතර ඉන් පන්දහසක් පමණ ගුරුවරුන් වන බවත් හෙතෙම කීවේය.

එහෙත් අධ්‍යාපන කලාප කාර්යාලවල සේවයේ නියුතු විශ්‍රාම යාමට නියමිතව සිටින නිලධාරින්ගේ තොරතුරු නිවැරදිව එවන බවත් මෙලෙස නොසැලකිල්ලක් දක්වන්නේ ගුරුවරුන්ට බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

යම් නිලධාරියකු විශ්‍රාම යාමට මාස හයකට පෙර අදාළ තොරතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණද එම ක්‍රියාවලිය අධ්‍යාපන කලාප කාර්යාල නිසි පරිදි ඉටු නොකිරීම හරහා ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පමාවට හේතුවක් බවද ඔහු කියයි.

ඒ අනුව එම ලිපි ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ මාස හයකට පමණ පසුව බවද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna