යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ට සංවේදී කලාපවල, පිරිසක් වාහනවලින් සැරිසැරූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක විසින් නිලධාරීන් 10කට ආසන්න පිරිසකගෙන් මේවනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ, අදාළ කමිටු දෙකේ නිලධාරීන් යාල ජාතික වනෝද්‍යානයට ඊයේ ගිය අවස්ථාවේදීයි.
ඒ අනුව උද්‍යාන භාරකරු, නියෝජ්‍ය උද්‍යාන භාරකරු, මාර්ගෝපදේශකවරුන් 7දෙනෙක් සහ වනජීවී නියාමකවරයෙකුගෙන් එලෙස සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම අදාළ පිරිස විසින් හානියට පත් කළ ස්ථානද එම කමිටු දෙකේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර යාල වනෝද්‍යානයට පැමිණී ඩිෆෙන්ඩර් සහ ජීප් රථ 32 ලියාපදිංචි කළ පුද්ගලයන්ගේ නාමලේඛනය ලබාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ඒ හරහා එම වාහනවලින් යාල වනෝද්‍යානයට පැමිණි පුද්ගලයන් හදුනාගත හැකි බවටයි වනජීවී දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ.
එය ලද වහාම කඩිනමින් යාල වනෝද්‍යානයට පැමිණී අදාළ පිරිසේ ඉතිරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම වනෝද්‍යානයට පැමිණී පිරිස අත්අඩංගුවට ගැනීමට සමාජ මාධ්‍යවල පල වන වීඩියෝ පරීක්ෂා කිරීමටද එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව මීට පෙර පුද්ගලයින් 09 දෙනෙකු වාහන 06 ක් සමග යාල වනජීවි නිලධාරීන් වෙත භාර වුණා. ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Neth