ඉතිහාසයේ නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මාතෘ භූමිය වෙලාගෙන සිටින ඝණ අඳුර පළවා හරින්නට සියලුදෙනා එක්ව සාමූහික වැඩපිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දීපවාලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩ නැගීමට නම් පහන් සිළුව වටා අප සියලු දෙනා සාමූහිකව අත්වැල් බැද ගනිමු යැයි තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි සිය දීපවාලි සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපවාලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බවයි ජනාධිපතිවරයා සිය දීපවාලි සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.
හින්දු භක්තිකයින් විසින් කෝවිල, මහ මන්දිරය මෙන්ම පැල්පත ද ගෙවතු සේම මං මාවත් ද සුවහසක් පහන් අලෝකයෙන් ඒකාලෝක කිරීම දීපවාලි දිනයේදී සිදුකරන අතර අවිද්‍යාවේ අඳුර දුරුකර අලෝකයේ දීප්තිය ලබාගැනීම එහි අරමුණ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ දීපවාලි සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද දීපවාලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. භේදයට හේතු දහසක් නිර්මාණය කළ හැකිව ඇතත්, පක්ෂ, පාට, ආගම්, ජාති භේද පසෙකලා පොදු හැගීමකින් කටයුතු කළ අවස්ථාවකට අප අද එළඹ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම පණිවිඩයේ දැක්වෙන්නේ.
දීපවාලියේ සැබෑ අර්ථය හදවතට ධාරණය කර ගනිමින් පොදු යහපත වෙනුවෙන් එකාවන්ව කටයුතු කර අභියෝගාත්මක කාලය ජය ගැනීමට දීපවාලි දිනය සමරන මේ මොහොතේ අධිෂ්ඨාන කර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ දීපවාලි දින සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
සියලුදෙනාගේම වෛරය, ක්‍රෝධය ඉවත් වී සැමට මානව සංහිඳියාව පිරි ශ්‍රී ලංකාවක් තුළ නිදහසේ සමගියෙන් සමාදානයෙන් ජීවත්වීමට දීපවාලිය පිහිටක්ම වේවායි දීපවාලි දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සුර අසුර සටනින් නපුරත්, අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් ලෙස දීපවාලිය සැලකෙන අතර වර්තමානයේ පවත්නා උවදුරු නමැති නපුර පරාජය කිරීම උදෙසා ද මේ දීපවාලි දිනයේ ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දීපවාලි සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
Neth