Saturday, April 27, 2024
Follow Us
මුල් මාස නමයට කෝටි 60ක රක්ෂණ වන්දි

ගංවතුර, නායයෑම්, නියඟ ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්වූවන් නැවත සවිබලගැන්වීම සඳහා මේ වසරේ මුල් මාස නමයට රුපියල් කෝටි 60කට ආසන්න මුදලක් රක්ෂණ වන්දි ලෙස පිරිනමා ඇතැයි ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සනත් සී ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ජාතික රක්ෂණ භාරකාර අරමුදලට මේසා විශාල රක්ෂණ වන්දි මුදලක් ලබාදීමට හැකි වූයේ රජය විසින් ඇරැඹි ජාතික ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමය නිසා බව ද සනත් සී ද සිල්වා මහතා අවධාරණය කෙළේය.

ගංවතුර, නායයෑම්, නියඟ, වගා හානි ඇතුළු හදිසි ස්වභාවික ආපදාවක දී ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකර, ජනතාවට රක්ෂණ වන්දි මුදල් පිරිනැමෙන මේ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමය තුළින් වසර 2018 දී රුපියල් කෝටි 100ක රක්ෂණ වන්දි පිරිනමා ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කෙළේය.

හදිසි ස්වභාවික ආපදාවල දී ජනතාවට අත්විඳීමට සිදුවන පීඩාවන්ගෙන් ඉතා ඉක්මනින් මිදීමට අවශ්‍ය කරන මූලික දේ ලබා ගැනීමට මේ රක්ෂණ වන්දි මුදලින් මඟපෑදේ. පසුගිය සතියේ රටේ විවිධ ස්ථානවල සිදු වූ ස්වභාවික විපත්වලින් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලැස්වීමට තම අරමුදල රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් වහාම ලබා දුන් බව ද සනත් සීද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

(Dinamina)